https://www.profitableratecpm.com/hgf81wjq?key=4cec0171bb9297e22b427a97f1aced0a LANKA SL NEWS: මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි

Thursday, February 12, 2026

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළේ, කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත වූ බවයි.

මෙම පියවර “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කළ ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක් බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් ලබාගන්නා විශ්‍රාම වැටුප අහෝසි කිරීම මෙහි මූලික අරමුණයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන 1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත මෙම නව පනත මගින් අහෝසි වීමට නියමිතය.

ලබන සතියේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු විශ්‍රාම වැටුපක් හිමි නොවේ.

මෙය දේශපාලනය වෘත්තියක් නොව සේවයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දීමක් බවත්, රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ගත් ඉතා වැදගත් පියවරක් බවත් නජිත් ඉන්දික මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

The post මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට තවත් අනුමැතියක් හිමිවෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HyjOt20

Labels:

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home